"ජීවන මල් ගොමුවේ , මල් මදිරාවෙන් , එකතු කර ගත් ,මී පැණි බිඳක , රස බලන්න එන්න."

Tuesday, December 21, 2010

.... කතුවරියගේ ප්‍රේමය ....

දෙවෙනි මිමිණුම ....

ඔහුගේ උණුසුම් ආදරය ලද දිනක් ඇයගේ මතකයේ නැත.සෑම දිනකම රාත්‍රියේ ,යහනේ දකුණු පසින් ඔහු සිටී දැයි බැලුමට දිගු වන හස්තයේ ගැටෙන්නේ සීතල වූ යහනත් හිස් කොට්ටයත් පමණි.උණුසුම් පපුවක ගැහෙන හඩ අසමින් ශක්තිමත් බාහුවක සිර වී නිදි සුව වින්ඳ කාලය හමාර වුයේ ඇගේ වරදින් වත් ඔහුගේ වරදින් වත් නොව ඇය අකුරු කර පන්හිඳෙන් හැඩකර ඇමිණු වචන වල වරදිනි.

රිදුම් දෙන සිතට සහනයක් ලබා ගනු වස් , දෑස් රැඳි කණ්ණාඩිකුට්ටම ලොකු සටනක් දීමෙන් අනතුරුව ඉවත් කර ගත් ඇය , ඉනු කඳුළු වලට ඔහේ ගලා යාමට ඉඩ සලසමින් දෑස් පියා ගත්තීය.

-----------------------------------------
" ඔයා අදත් පොස්ට් එකක් ලියල "

තම ආදරණිය ස්වාමියා  පැවසූවේ හිතේ රැඳි කහටක් සහ දැඩි නොරිස්සුම් ස්වරයකින් බව ඇය වහා තේරුම් ගත්තාය.
" ඉතින් , මම ඔයාටත් කියවන්න එක්කම තමයි පබ්ලිෂ් කරේ."

" හ්ම් ... ඉස්සර නම් ඔහොම නැහැ...කාටත් කළින් කියවන්නේ මම"

" ඇයි ඔහොම කියන්නේ...  ඊයේ මම කී සැරයක් කීවද ඔයාට.ඔයාම තමයි අන්තිමට කීවේ. බලන්න දෙයක් නැහැ වෙනද වගේම ඇති කියල "

" ඔවු . . . කීව තමයි. මට ඕනි නැහැ ඔයාගේ ආදරවන්තයො ගැන කියවන්න. කවුද ඒකෙ ඉන්න අර පෝරිසාදයා "ධනූ" ? "


සෙමින් ඔහු අසලට ගිය ඇය , තම දෑස් වලින් ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවාය.

" ඒව කල්පිත "

ඇගේ දිලිසෙන දෑස් හි රැඳුන කාන්තිය ඇය කියන්නේ සත්‍යයක් බව ඔහුට එත්තු ගැන්වූව ද , ඒ කාන්තියට වශීවෙයි දෝයි බයෙන් මෙන් ක්ෂණයෙන් බිම බලාගත් ඔහු.

" කල්පිත ඔච්චර ලස්සනට ලියන්න පුලුවන් කියල මම දන්නේ නැහැ නේ. එතකොට ඔයා මා ගැන ලීව දේවලුත් කල්පිත ද?"

ඔහු සමඟ වාදයේ පැටලීමට ඇය සූදානම් නැත. ඇය වේගයෙන් ඇසි පිය සැ‍ලුවේ නෙතු වල දඟලන කඳුළු වලට දිනුම දීමට ඇය සූදානම් නැති බැවිනි.

එදා රාත්‍රියේ ඇය ඉතා දැඩි නමුත් හිතට සහනයක් සලසන තීරණයක් ගත්තාය. කවියට , කතාවට පෙම් බැන්ඳ සිතට වඩා ඔහුට පෙම් කරන සිත ඉදිරියෙන් තබන්නට වේලාව පැමිණ ඇති බව ඇය වටහා ගත්තේ තමන්ට පිටුපා නිදා සිටින ඔහුගේ නින්ද තමාගේ ලෝකයෙන් බොහෝ දුර ගොස් ඇති බව හඳුනා ගත් නිසාය.

හඬක් නොනැගෙන්නට හිමින් සීරුවේ යහනින් නැගිට ගත් ඇය , පන්හිඳත් , සියලුම හිස් කොලත් , දින පොතත් , ජංගම පරිගණකයත් අත දිග නොවෙන මානෙක ,වැරදිලාවත් නෙත නොගැටෙන මානෙක සැගවූවාය. තම සිතට අගුලු දැමු ඇය , යතුර ගං පතුලට විසිකළාය. සහන් සිතින් යලි යහනට පැමිණි ඇය , තමාට පිටු පා නිදන ඔහුගේ රැවුල් කොට සහිත සුන්දර ‍මුහුණ දෙස බලා තනියම සිනා පෑවේ , ඔහුට සතුටක් සාදා දුන් සතුටිනි.

එහෙත් සිදු වූයේ සිතූ දේද ?

" මොක ද? සයිට් එක වහල? ලැප හැංඟුව කියල , ලියන එක නතර කරා කියල . හිතේ තියන වල්කම් නතර කරන්න බැහැ. "

" වල්කම් "

" ඔවු දැන් තමුසෙට සතුටු ඇති හිතේ තියෙන කුණු එළියට දාන්නේ නැහැනේ "

සිත තුල එතෙක් අරක් ගෙන තිබූ සොඳුරු මිනිසා මිය යෑමට ඒ කුණු රසැති වචන වලට ගත වූයේ නිමේෂයකි. හැඬීමට කඳුළු ආ යුත්තේ මිනිසෙකු වෙනුවෙන් විනා තිරිසන් ගති ඇති අධමයන් වෙනුවෙන් නොවන බව ඇය තේරුම් ගත්තේ එවරය.

දුකින් පීඩිතව ලියූ යුගයක හමු වූ ඔහු නිසා ඇය ලියූ කවියට කතාවට ආදරය මුසු වුනේ ඔහුගේ සිතටද සතුට එක් කරමිනි. . . ලියූ සෑම අකුරකම පද වැලකම දැවටුනු ඔහුගේ ආදර සෙනෙහස පාඨක සිත් වලද දැල් වූයේ සතුටකි. එය ඇය තව තවත් දිරිමත් කෙරූ කාරණයක්ම විය.

නමුත් කාලයත් සමඟම සමාජගත වූ ඇ‍ඟේ හැකියාව , තමා වටා පමණක් නොව තමා අවට පිහිටි සමාජයත් ලෝකයත් පීරා ගොස් පන්හිඳ මෙහෙය වන්නට වූ අතර ලියූ දෑ පාඨකයන් වඩ වඩාත් ආකර්ශනයෙන් වැළඳ ගන්නට ද විය. විශේෂයෙන් කිව යුතු වන්නේ ඇය කුමක් ලියූ වද ඈ සිත් ගත් ඔහුගේ අවශේෂයන් ද ඒ සෑම කතාවකම කොහේ හෝ අස්සක ඇගේ අතින් ලියවෙන්නේ ඔහු තම සිත පුරා රැඳි සුවඳ ආදරය නිසාමය... නමුත් ඔහු පවසන්නේ තමා අනියම් පුරුෂයන් සමඟ වචන වලින් යහන්ගත වන බව නොවේ ද?
ඔහු අවට සිටි ඇතැම් මිතුරන් විසින් කුණු කන්දල් වලින් පුඑවන ලද ඔහුගේ මනසේ පෝෂණය වූ විෂ බීජ පොකුරු පිටින් වැඩෙමින් සිටියේ කුණු රස විෂ බිජ වලට අනගි රෝපණ මාධ්‍යයක් වු බැවිනි.

සිතක පළවෙනි තැන්හි ලා තිබූ ආදරය ක්‍රමයෙන් පල්ලම් බැස්ස අතර අවසානයේ නතර වූයේ අත බුරුලෙන් මිඳී ළිඳක පතුලට ඇද හැලෙන බාල්දියක් පරිද්දෙනි. දිය පිපාසෙට වතුර පොදක් මහා ආගාධයක සිට පොළව මතට ඇඳ දුන් බාල්දිය මඩ පතුලේ එරී මලකඩ කමින් දිරා පත් වෙමින් තිබුන ද කිසි විටක අවලාදයක් නැගුවේ නැත.

එසේම අද ඇයට ද ශේෂ වී ඇත්තේ සොඳුරු මතක තිහිපයක් සහ කඳුලින් තොරව වෛරයෙන් නිම වූ අසුන්දර ප්‍රේම කතාවක් පමණි.

ඇයගේ තනියට සිටින පන්හිඳ ඇය දෙස බලා කඳුළු සලන්නේ , ඇගේ දෑතේ පහස පෙරදා මෙන් ලබන්නට පිං මද බැවිනි.

ඇගේ සිත රැඳි එකම ආදරයට මෙන්ම ඇය ලියූ පද වැල් ගී , කතන්දර වලට ඇය වන්දි ගෙවා තිබූ ඇගේ දෑත් දෙස තෙත රැඳි දෙනෙත යොමු කළ ඇය සියුමැලි ඇගිලි රහිත තම දෑත පපුවට තමා තදින් තුරුළු කර ගත්තේ මෙතෙක් නොලියූ කවි පද , කතා දහසක් රැඳි තම සිත ද වෙනකකු රැගෙන යා දෝයි බියෙන් මෙනි.


කතුවරියගේ නෙත රැඳි කඳුළු බිඳු අකුරු වල තැවරූ වේ
මී මැස්සි

2 comments:

  1. ආදරය යන වචනය මිනිසුන් හරියට තේරු ගෙන නැත තවම ..

    සැකය ලෝභකම හා - ඊර්ෂ්‍යාව , මෙයයි මිනිස් සිත හඳුනන ආදරය ...

    ඒත් මෙතන එක දෙයක් අඩුයි නේද ?

    ඒ තමයි පරිත්‍යාගය ..පරිත්‍යාගය හා සතුට එක්වුනු විට එතැන සැබෑ ආදරය උපදිනු ඇත ..

    ජයවේවා !!

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්...

    අනේ මන්දා...මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...
    හිස් අහස කියනදේ මමත් පිළිගන්නවා....
    දැනට ඇති වගේ....
    දිගටම ලියන්න මී මැස්සී....

    ReplyDelete